BREAKING NEWS
Search

දරුවන් රැසක් මහමඟ – පාසල් සේවා බස් වැඩි කරන්නැයි ඉල්ලීමක්

2371

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඉන්ධන ගැටලු සහ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් පාසල් දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක පොදු ප්‍රවාහන සේවා තවදුරටත් විධිමත් කරන ලෙස දෙමව්පියන් ඉල්ලා සිටිනවා.

තදාසන්න ප්‍රදේශවල පාසල් සිසුන් වෙනුවෙන් විශේෂ බස් සේවා ක්‍රියාත්මක වුවත් ග්‍රාමීය ප්‍රදේශවල ඒවා ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ගැටලු පවතින බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මේ වනවිට පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් පාසල් සිසුන් ප්‍රවාහනය කරන පෞද්ගලික වෑන් රථ ගාස්තු ඉහළ දමා තිබෙනවා. නිසි පරිදි ඉන්ධන නොලැබීම නිසා එම සේවාවන් පවත්වාගෙන යාම ද ගැටලුවක් වී ඇති කරුණක්.

දෙමව්පියන්ට පෞද්ගලික වාහනවලින් දරුවන් පාසල් රැගෙන යාමට ගැටලු මතුවී ඇති අතර, ඒ අනුව පාසල් යන දරුවන් පොදු ප්‍රවාහන සේවා වෙත නැඹුරු වන තත්ත්වය වැඩි වී තිබෙනවා.

එසේම, බස් රථ සහ දුම්රිය මගින් ගමන් කරන මගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් දරුවන්ට පාසල් යාමට සිදුව ඇත්තේ අපහසුතා රැසක් මධ්‍යයේයි.

පවතින තත්ත්වය හමුවේ ඉන්ධන නිසිපරිදි නොලැබේ නම්, පාසල් ළමයින් ප්‍රවාහන සේවා අඩාල වන බවයි සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එන්.එම්.කේ හරිස්චන්ද්‍ර පැවසුවේ.

පාසල් සිසුන් වෙනුවෙන් සිසු සැරිය බස් සේවා ක්‍රියාත්මක වුවත් ඇතැම් ප්‍රදේශවල ඒ සම්බන්ධයෙන් ද ගැටලු මතුවනවා.

හෝමාගම ඩිපෝවෙන් යොදා ඇති සිසුසැරිය බස් අද ධාවනය වී නොතිබූ අතර එහි බලධාරින් පැවසුවේ කාර්මික දෝෂවලට ලක්වූ බස් රථ යථා තත්ත්වයට පත් කර ගැනීමට පැවති ප්‍රමාදයන් ඊට හේතුවූ බවයි.

පෞද්ගලික බස් රථ සිසුන් සඳහා යෙදවීමට සඳුදා සිට කටයුතු කරන බව බස් හිමියන් පැවසුවත් ඉන්ධන නොලැබුණහොත් එය ක්‍රියාත්මක කිරීම ගැටලු සහගත බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.

මෙවන් තත්ත්වයක් තුල අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් පාසල් ප්‍රවාහන සේවා සඳුදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. කෙසේ වෙතත් කොළඹ දක්වා එම බස් සේවා ක්‍රියාත්මක වන්නේ අවිස්සාවේල්ල, නිට්ටඹුව, මතුගම, අලුත්ගම, හෝමගම, කොට්ටාව, මහරගම, ඇතුළු සීමිත ප්‍රදේශ කිහිපයක සිට පමණයි.

මීට අමතරව, ගම්පහ, මීගමුව, මහරගම – නුගේගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක පාසල් වෙත ද බස් සේවා ක්‍රියාත්මක කෙරුණත්, දුෂ්කර ප්‍රදේශවල මෙම ගැටලුව සම්බන්ධයෙන් තවමත් නිසි විසඳුමක් ලැබී නැහැ.

කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ ලබන සඳුදා සිට ගැටලුව බොහෝ දුරට විසඳෙනු ඇති බවයි.

මේ අතර, දෙමාපියන් සහ සිසු දරුවන් පවසන්නේ අදාළ ප්‍රදේශවල අතිරේක බස් රථ කිහිපයක් පාසල් දරුවන් වෙනුවෙන් යොදවන්නේ නම් එය සුදුසු වනු ඇති බවයි.

රටේ අනාගත පරිපුරේ අභිවෘද්ධිය වෙනුවෙන් කුමන දුෂ්කරතා මධ්‍යයේ හෝ පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යාම අවශ්‍යයෙන්ම කළ යුතු කටයුත්තක්. එම නිසා පොදු ප්‍රවාහන භාවිතයේදී හැකි තරම් දරුවන්ට අවස්ථාව ලබාදී ඔවුන්ට සුරක්ෂිතව පාසලට සහ නිවසට ළගා වීමට මඟ සැලසීම වැඩිහිටියන්ට අනාගතය වෙනුවෙන් කළ හැකි මහා මෙහෙවරක් වනු නොඅනුමානයි.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *