පාසල් අධ්‍යයන කටයුතුවලට කිසිදු බාධාවක් නොවන පරිදි මෙවර සෙංකඩගල වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය පැවැත්වෙන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසනවා.
මීට පෙර වසරවලදී පෙරහැර සමයේ පාසල් නිවාඩුව ක්‍රියාත්මක වුව ද වසර කිහිපයක් පාසල් අධ්‍යයන කටයුතු සිදුකිරීම අභියෝගාත්මක වීම හේතුවෙන් මෙවර පෙරහැර මංගල්‍ය වෙනුවෙන් පාසල් වසා නොතබන බවයි ඔහු සඳහන් කළේ.
සෙංකඩගල වාර්ෂික ඇසළ පෙරහැර ප්‍රගති සමාලෝචන රැස්වීම මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී අද (22) පස්වරුවේ පැවැත්වූ අතර එහිදී දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් සිව් මහා දේවාල බස්නායක නිලමේවරු ඇතුලු අදාළ ආයතන ප්‍රධානීන් හා නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත් වුණා.
ආරක්ෂක අංශ හා නර්ථන කණ්ඩායම් සඳහා නවාතැන් පහසුකම් සම්පාදනයේදී මෙවර පාසල් යොදා ගැනීමට නොහැකි බැවින් 5500කට ආසන්න පිරිසක් සඳහා විකල්ප ස්ථානවල නේවාසික පහසුකම් සැලසෙන බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියාසිටියේ.
ඒ අනුව ආරක්ෂ අංශයේ 4500ක් හා දහසක් පමණ වන නර්ථන ශිල්පීන් සඳහා මහනුවර නගරයට ආසන්නතම ස්ථානවල නවාතැන් පහසුකම් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.
පෙරහැර සංවිධාන කටයුතුවලදී සැදැහැවතුන් සඳහා පහසුකම් සැපයීම මහනුවර මහ නගර සභාව, ශ්‍රී දළඳා මාලිගාව ඇතුලු රජයේ ආයතන විසින් සිදුකරන අතර මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුලු රජයේ ආයතන කිහිපයක් එම කටයුතු සම්බන්ධීකරණය කරන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.
Source:Hirunews


















