BREAKING NEWS
Search

ජනපති රනිල් දිවුරුම් දීම අද පෙරවරුවේ

279

මෙරට 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ අද එම ධූරයේ දිවුරුම්දීමට නියමිතයි.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අගවිනිසුරුවරයා ඉදිරියේ එම දිවුරුම්දීම සිදු කිරීමට යි සැලසුම් කර ඇත්තේ.

මෙරට අටවන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තෝරා ගත් බවට වන අතිවිශේෂ ගැසට් නිවේදනය ද ඊයේ පස්වරුවේ නිකුත් කෙරුණා.

8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ඊයේ තේරී පත් වුණා.

පාර්ලිමේන්තුවේ ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී ඔහුට ඡන්ද 134ක් ලැබුණු අතර, ඒ සඳහා තරඟ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට ලැබුණේ ඡන්ද 82ක් පමණයි.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකට ඡන්ද 3ක් ලැබී තිබුණා.

මේ අතර, අභිනව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු පිවිසුම වෙත පැමිණ පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතුවල නිරත වූ ආරක්ෂක අංශ සාමාජිකයින් හමු වී තිබුණා.

එහි දී ඔහු සඳහන් කළේ, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කැප වූ ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු සියලු දෙනාට තමන් ප්‍රණාමය පුද කරන බවයි.

එසේම, ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ ඊයේ පස්වරුවේ කොළඹ – හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත්වලද නිරත වුණා.

රනිල්ගෙන් හිස් වන මන්ත්‍රී ධූරයට එන්නේ කවුද ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ධූරයට පත්වීමත් සමඟ පුරප්පාඩු වන වත්මන් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයට හිමි එකම මන්ත්‍රී ධූරය සඳහා මන්ත්‍රීවරයෙකු නම් කිරීමට අදාළ පුරප්පාඩුව නිල වශයෙන් දැනුම් දුන් පසු සිදුකරන බව එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ප්‍රකාශ කළා.

ඒ, හිරු ප්‍රවෘත්ති අංශය ඒ පිළිබඳව කළ විමසීමකදීයි.

පසුගිය මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිශතය අනුව එක්සත් ජාතික පක්ෂයට එක් මන්ත්‍රී ධූරයක් හිමි වූ අතර, ඒ සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නම් කෙරුණේද පාර්ලිමේන්තුව රැස්වී මාස ගණනාවක් ගතවීමෙන් පසුවයි.

ඔහු ජනාධිපති ධූරයට පත්වීමත් සමඟ එම මන්ත්‍රී ධූරය පුරප්පාඩු වනවා.

ඒ අනුවයි නව මන්ත්‍රීවරයෙකු නම් කළ යුත්තේ.

ඒ පිළිබඳව අදාළ පුරප්පාඩුව දැනුම්දීමෙන් පසු පක්ෂය රැස්වී තීරණයක් ගන්නා බව එහි මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර කියා සිටියා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *