ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ නිවේදනය අද (15) පෙරවරුවේ නිල වශයෙන් ප්‍රකාශ කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.
ඒ අනුව ඊයේ (14) රාත්‍රියේ දී තමන් වෙත ලැබුණු ජනපතිගේ අත්සනින් යුත් නිල නිවේදනය මේ වනවිට නීතිමයභාවය පරීක්ෂා කරමින් පවතින බවයි කතානායකවරයා ප්‍රකාශ කළේ.
එමෙන්ම මේ වනවිට නීතිපති සංජය රාජරත්නම් විසින් එම ලිපියේ නිත්‍යානුකූලභාවය විමර්ශනය කරන බවත්, එහි අවසන් තීන්දුව අද පෙරවරුවේ කතානායක වෙත ලැබීමට නියමිත බවත් වාර්තා වනවා.
කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳ අද විශේෂ පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වීමට නියමිත බවයි.
මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීමේ නිවේදනය නිකුත් කර ඇති බව මාලදිවයින් කතානායක Mohamed Nasheed විසින් ද ප්‍රකාශයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම අද පෙරවරුවේ දී නව ජනාධිපතිවරයා ලෙස මේ වනවිට ජනපති ධුරයේ වැඩබලන රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමට නියමිත බවට ද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
ජනාධිපතිවරයා මෙරටින් පිටව ගියේ පසුගිය ජුලි මස 12 වැනිදිනයි.
ඒ මාලදිවයින බලායි.
පසුව, ඊයේ පස්වරුව වන විට ජනාධිපතිවරයා සිංගප්පූරුව වෙත පැමිණ ඇති බවට විදෙස් මාධ්‍ය නිල වශයෙන් නිවේදනය කළා.
කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ නිල නිවේදනය සිංගප්පූරුව වෙත පැමිණි වහාම කතානායක මහින්ද යාපා වෙත යොමුකරනු ඇති බවයි වාර්තා සඳහන් කළේ.
නමුත් ඊයේ දිනයේ ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති සමාජ මාධ්‍යවල සංසරණය වන ඉල්ලා අස්වීමේ නිල නිවේදනය අසත්‍ය බවට ද ජනාධිපති කාර්යාලය නිවේදනය කළා.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක් ලබාගත යුතු බවට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ද යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
Source:Hirunews


















