ඉල්ලා අස්වීම තවම නෑ. විශේෂ ගුවන් යානයක් එනතුරු ජනපති තාම මාලදිවයිනේ

336

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

ඊයේ දිනය තුළ අදාල ලිපිය තමන් වෙත ලැබෙනු ඇති බව කතානායකවරයා සදහන් කර තිබුණා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් මාලදිවයිනේ මාලේ අගනුවර රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

SQ437 දරණ ගුවන් යානයෙන් ඊයේ රාත්‍රියේ මාලේ නුවර සිට සිංගප්පූරුව බලා යාමට ජනාධිපතිවරයා සැලසුම් කර තිබූ බවත් පෙර සැලසුම් කර තිබූ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

කෙසේවෙතත් ආරක්ෂක ගැටළු හේතුවෙන් ජනාධිපතිවරයා සැලසුම් කර තිබූ පරිදි එම ගුවන් යානයේ ගමන් කර නොමැති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

ඒ අනුව මාලදිවයිනේ රැඳී සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මියට සිංගප්පූරුව බලා පිටත්ව යාම සඳහා පෞද්ගලික ගුවන් යානයක් ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පවතින බව ද වාර්තා පළ වනවා.

ඊයේ අලුයම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඔහුගේ බිරිඳ හා තවත් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගොස් තිබුණා.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *