මේ වන විට මාලදිවයිනේ රැඳී සිටින ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෞද්ගලික ගුවන් යානාවකින් සිංගප්පූරුව බලා පිටත් වීමට බලාපොරොත්තුවෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ඊයේ දිනය තුළදීත් සිංගප්පූරුව බලා පිටත් වූ මගී ගුවන් යානා දෙකක් මග හැරි ජනාධිපතිවරයා, තාමත් රැඳී සිටින්නේ මාලදිවයිනේ තරු පංතියේ පන්තියේ හෝටලයක යි.
මේ අතර ඊයේ (13) දින පුරා මාලදිවයිනේ වෙලානා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආරක්ෂක විධිවිධාන තර කර තිබුණේ, ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබූ බැවින්.
කෙසේ වෙතත් මේ දක්වා ජනාධිපතිවරයාගේ සිංගප්පූරු ගමන තහවුරු වී නෑ.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, ජනාධිපතිවරයා සිංගප්පූරුවට ගිය පසු ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමු කිරීමට නියමිත බව යි.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට මාලදිවයිනට පැමිණීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් එරට විපක්ෂය මාලදිවයිනේ පාලක පක්ෂයට බරපතළ ලෙස චෝදනා කරනවා.
එමෙන්ම ඔහු මාලදිවයිනට පැමිණීම සම්බන්ධයෙන් එරට පදිංචි ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද ‘වෙලානා’ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.
මෙලෙස විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ද ගෙන තිබෙනවා.
අද උදෑසන වන විටත් ශ්‍රී ලංකා ආර්ථික අර්බුදය හේතුවෙන් මතුවූ ගැටුම්කාරී තත්ත්වය ලොව ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර මාධ්‍ය සියල්ලන්ගේම ප්‍රධාන මාතෘකාව වී තිබුණු අතර, බීබීසී ලෝක සේවය ඔවුන්ගේ සිරස්තල හරහා පැවසුවේ, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ජනතාවට බොරු කීම හේතුවෙන් ගැටුම් උත්සන්න වී ඇති බවයි.
Source:Hirunews

















