ලබන සතියේ සිට පැය 10ක කාලයක් දිවයිනේ සියලු ප්‍රදේශවලට වර්ගීකරණය කරන ලද කාණ්ඩ යටතේ විදුලි කප්පාදුවක් සිදු කරන බවට වන පුවතක් ලංකා විදුලිබල මණ්ඩලයෙන් ප්‍රකාශ කළ බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්තියක් සංසරණය වනවා.
මෙම පුවතෙහි සත්‍ය, අසත්‍යතාව තහවුරු කරගැනීමට හිරු ප්රවෘත්ති අංශය විසින් ලංකා විදුලිබල මණ්ඩලයෙන් විමසීමක් සිදු කරනු ලැබුවා.
එහිදී ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමුණි ප්‍රකාශ කළේ, එම පුවතෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බවත්, විදුලිබල මණ්ඩලය මගින් ඒ අයුරින් කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.
එමෙන්ම විදුලි කප්පාදුව සහ එය විසඳන ආකාරය පිළිබඳ සාකච්ඡාවක් අද (08) දින පැවැත්වීමට ද ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු යොදා ඇති බව ද හිරු පුවත් වෙත වැඩිදුර අදහස් දක්වමින් ඔහු කියා සිටියා.
කෙසේවෙතත් මෙම පුවත සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායකගෙන් අප කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ, එවැනි විදුලි කප්පාදුවක් සම්බන්ධයෙන් වන වැඩපිළිවෙළක් ගැන තමන්ට කිසිදු දැනුවත් කිරීමක් මෙතෙක් සිදු කර නොමැති බවයි.
එමෙන්ම වෙනත් පාර්ශ්වයන් කළ ප්‍රකාශන සම්බන්ධයෙන් තමන් උත්තර බැඳීමට සූදානම් නැති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
රට තුළ පවතින දැඩි ඩොලර් අර්බුදය හේතුවෙන් මේ වනවිට අත්‍යවශ්‍ය ආහාරපාන මෙන්ම බලශක්ති සැපයුම ද අඩාල වී ඇත්තේ, ආර්ථික අවපාතයක් නිර්මාණය කරමින්.
විදුලි බලාගාරවලට අවශ්‍ය ඩීසල් සහා නැප්තා ලබා ගැනීමට භාණ්ඩාගාරයේ මුදල් ක්ෂය වීම හා ඩොලර් ගෙවීමට විදෙස් සංචිත අවම මට්ටමක පැවතීම හේතුවෙන් බලාගාරවල ධාරිතාව පාලනයට මේ වනවිට විදුලි ජනන ක්‍රියාවලිය නවතා දමා තිබෙනවා.
විදුලි බලාගාරවල ධාරිතාව පාලනය කිරීම අරමුණු කරගනිමිනුයි, මෙලෙස කලාපවලට වර්ගීකරණය කරමින් දිවයිනටම විටින් විට විදුලි ඇනහිටීම් සිදු වන්නේ.
Source:Hirunews


















