BREAKING NEWS
Search

ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගුයි

200

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

රට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කළ බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළා.

ඒ අනුව සියලු ආරක්ෂක අංශ සාමාජිකයින් වහාම සේවයට වාර්තා කළ යුතු බවයි එමඟින් දන්වා සිටින්නේ.

මේ අතර, මේ වනවිට රට තුළ පනවා ඇති හදිසි නීතිය සම්බන්ධයෙන් හේතු දැක්වීමට ආණ්ඩුවේ පාර්ශ්ව කිහිපයක් හෙට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා.

ඒ අනුව ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත්, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සහ පොලිස්පති සී.ඩී වික්‍රමරත්න යන පිරිසට හෙට මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි දැනුම් දී ඇත්තේ.

නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් කොමිසම පෙන්වා දෙන්නේ ආණ්ඩුවට එරෙහිව දැනට සිදු කෙරෙන විරෝධතා, සාමකාමී සහ සාමාන්‍ය පොලිස් මෙහෙයුම් රාජකාරී සීමාව තුළ පාලනය කළ හැකි තත්ත්වයක පවතින බවයි.

එවැනි පසුබිමක හදිසි නීතිය පැනවීම ගැටලු සහගත බව අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර, රට තුළ දැනට පනවා ඇති හදිසි නීතිය වහා අහෝසි කල යුතු බවට මහජන උපයෝගීතා කොමිෂන් සභාව ආණ්ඩුවට නිර්දේශ කර තිබෙනවා.

එහි සභාපති ජනක රත්නායක හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ හදිසි නීතිය හේතුවෙන් ඇතිවිය හැකි මහජන කැළඹීම් හමුවේ විදුලි සැපයුමට බාධා එල්ල විය හැකි බවයි.

ඒ පිළිබඳව කරුණු සහ නිර්දේශ ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ඇතුලු අදාල පාර්ශවයන් වෙත ලිපි යොමු කර ඇති බව ඔහු ප්‍රකාශ කළා.

හදිසි නීතිය පැනවීම, රට තුළ පවතින අර්බුදයට විසඳුමක් නොවන බව පවසමින් යුරෝපා සංගමය, ඇමරිකා එක්සත් ජනපදය ඇතුලු රටවල් 35කට අධික ප්‍රමාණයක තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල මගින් ට්විටර් පණිවුඩ සහ නිවේදන නිකුත් කර තිබුණා.

දිවයින පුරා හදිසි නීතිය පැනවීමට අදාල ගැසට් නිවේදනය ඊයේ නිකුත් වූ අතර එහි දැක්වෙන්නේ මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම මෙන්ම මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගැනීම සඳහා ව්‍යවස්ථානුකූල ව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙලෙස හදිසි නීතිය පනවා ඇති බවයි.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *