තෘප්තිමත් රැකියාවකට අවශ්‍ය පසුබිම සියලුම රාජ්‍ය සේවකයන් වෙනුවෙන් සැකසිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරනවා.
කොළඹ, දෙමටගොඩ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ඉංජිනේරු ධාවනබල උප දෙපාර්තමේන්තුව සහ මාලිගාවත්ත දුම්රිය අංගනය අද (16) පෙරවරුවේ නිරීක්ෂණයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
බඳවාගැනීමේ පටිපාටිවල ඇති ගැටලු හේතුවෙන් උසස්වීම්වල පවතින ප්‍රශ්න කඩිනමින් නිරාකරණය කරන ලෙස ද ඔහු උපදෙස් දී තිබෙනවා.
ආයතනයන්හි දෛනික ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා පවතින ගැටලු සහ අවශ්‍යතා පිළිබඳව සේවකයන්ගෙන් තොරතුරු ද විමසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
දුම්රිය එන්ජින් මැදිරි හා ගැල් පරීක්ෂා කර, සුදුසු පරිදි සකස් කර, ධාවනය සඳහා යොමු කිරීම ධාවනබල උප දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛතම කාර්යය වනවා.
එදිනෙදා කළ යුතු අලුත්වැඩියාවන් සිදු කිරීම, වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවන් යාන්ත්‍රික ඉංජිනේරු වෙත නිර්දේශ කිරීම, අලුතින් ධාවනයට එක්වන එන්ජින් හා මැදිරි පරීක්ෂා කර යෝග්‍යතාවය සහතික කිරීම, දුම්රිය මාර්ගයේ සිදුවන දුම්රිය අනතුරු, පීලි පැනීම් හෝ වෙනත් ආපදාවක දී නැවත පීලි ගත කර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීම ආයතනයේ වගකීම් අතර වනවා.
ධාවනයට යොදවන මැදිරිවල ඇතුළත හා පිටත පිරිසිදු කිරීම ඇතුළු සේවාවන් රැසක් ආයතනය මගින් සිදු කෙරෙනවා.
කොළඹ පිහිටි ප්‍රධාන ධාවනාගාර 05ක්, අංගන 02ක් සහ කොළඹින් පිට තවත් ධාවනාගාර 15ක් පමණ දෙපාර්තමේන්තුව සතුයි.
පුරප්පාඩු වන කාර්මික ශිල්පී රාජකාරී සඳහා කම්කරු තනතුරේ සේවකයින් යොදාගැනීම හේතුවෙන් සේවකයන් අතර අතෘප්ති කර තත්ත්වයක් උද්ගත වී ඇති බවයි වෘත්තීය සමිති නියෝජිතයන් මෙහිදී ජනාධිපතිවරයා වෙත පෙන්වා දුන්නේ.
දක්ෂතා ඇති තරුණ කම්කරුවන් ශ්‍රී ලංකා – ජර්මානු දුම්රිය අභ්‍යාස ආයතනය සහ වාත්තීය පුහුණු ආයතනවලට යොමු කර , පුහුණු අවස්ථා ලබාදීමට කටයුතු කර ඒ අනුව නිසි උසස්වීම් ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.
ඉන්ධන ප්‍රවාහනය සේම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා දුම්රිය යොදාගැනීමෙන් අත්වන ප්‍රතිලාභ වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දෙනු ලැබුවා.
අබලන් වූ දුම්රිය මැදිරි අලුත්වැඩියා කෙරෙන දෙමටගොඩ, ආරාමය පාර පිහිටි තන්ත්‍රී ටේලර් (පුද්) සමාගමේ යාන්ත්‍රික අංගනය ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක් වුණා.
Source:Hirunews



















