BREAKING NEWS
Search

මුදල් ඇමති බැසිල් ඉන්දීය අගමැති හමුවෙයි – ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින බවට මෝදි සහතික වෙයි

186

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා ගිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවුණා.

දෙදින නිල සංචාරය වෙනුවෙන් ඊයේ පස්වරුවේ ඉන්දියාව බලා ගිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, නවදිල්ලි නුවරදී පිළිගනු ලැබුවේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ විසින්.

මෙම සංචාරයට මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගලද එක්ව සිටිනවා. ඉන්දීය රජයේ ආරාධනයකට අනුව මෙම සංචාරයේ නිරතවන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද පෙරවරුවේ ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලා හමුවුණා.

එම අවස්ථාවට දෙරටේ මහකොමසාරිස්වරුන් මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල ද එක්ව සිටියා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුව නවදිල්ලි නුවරදී සිදුවුණේ අද පස්වරුවේයි.

එහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඉන්දියාව, ශ්‍රී ලංකාවට ලබාදී ඇති සියලුම සහායන් පිලිබඳ ස්තූතිය පළ කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහිදී සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සමග ඉන්දියාව සැමවිටම සිටින බවයි.

කෘෂිකාර්මික, පුනර්ජනනීය බලශක්තිය, ඩිජිටල්කරණය, සංචාරක සහ ධීවර කර්මාන්තය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ශ්‍රී ලංකාව කාබනික කෘෂිකර්මාන්තයක් කරා ගමන් කිරීමට ගත් තීරණය පිළිබඳ මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

මේ අතර, දෙරට අතර ධීවර ගැටලුව පිලිබඳ පුළුල් සාකච්ඡාවක ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග මුදල් අමාත්‍යවරයා නිරත වී ඇති අතර, ධීවරයන්ට මානුෂික සැලකීම, ජිවනෝපාය, බලාත්මක කිරීම, සාගරයේ පරිසර විද්‍යාව සහ ධීවරයින් අත්අඩංගුවට ගැනීම, ඔවුන්ගේ බෝට්ටු කල් තියා නිදහස් කර ගැනීම වැනි කාරණා සම්බන්ධයෙන් ද මෙහිදී එකඟතාවන්ට පැමිණ තිබෙනවා.

මෙම සංචාරය අතරතුර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයිශන්කර් සහ එරට මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්, සහ ඉන්දියාවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී වික්‍රම් මිස්රි ද හමුවීමටද නියමිතයි.

ඩොලර් අර්බුදයකට මුහුණදී සිටින ශ්‍රී ලංකාවට අවශ්‍ය තිරිඟු‍ පිටි, සීනි, සහල් සහ අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් මෙම සංචාරයේ දී අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගැනීමට අදාළ ගිවිසුමකට අත්සන් තැබීමට ද නියමිතව තිබෙනවා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *