මෙරට දෛනික පාරිභෝජනයට අවශ්‍ය ඉන්ධන රට තුල පවතින බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
එහි සභාපති සුමිත් විජේසිංහ සඳහන් කළේ ඇනවුම් කල ඉන්ධන තොග රැගත් තවත් නෞකා 6 ක් ඉදිරියේදී මෙරටට ළගා වීමට නියමිත බවයි.
සභාපතිවරයා එලෙස පැවසුවත් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව ඉන්ධන නොමැතිව තවදුරටත් පීඩාවට පත්ව සිටින බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
බැරල් වලට සහ බූලි වලට පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීම තහනම් කර ඇති බවට පල වන වාර්තා අසත්‍ය බවද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
එහි සභාපති සුමිත් විජේසිංහ හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ විශාල ප්‍රමාණයේ බැරල් වලින් ආයතන වෙත ඉන්ධන නිකුත් කිරීමේදී පෝලිමේ පවතින වාහන වල පුද්ගලයන් අපහසුතාවයට පත් නොවන ලෙස කටයුතු කරන ලෙස පමණක් පිරවුම්හල් වෙත දැනුම් දුන් බවයි.
ඩීසල් සහ බොර තෙල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරල් එනර්ජි ඩී.එම්.සී.සී. සමාගම වෙත පිරිනැමීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මේ අතර, ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද තවදුරටත් අඩුවෙමින් ඇමරිකානු ඩොලර් 100 සීමාවට ළඟාවුණා.
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ යාල සංචාරක කලාපයේ සෆාරි ජීප් රථවල ප්‍රවාහන ගාස්තු ද ඉහළ නංවා තිබෙනවා.
වෙළඳපොලේ පවතින ගෑස් හිඟය මඟහරවා ගැනීමටද ගෑස් සමාගම්වලට මෙතෙක් හැකියාව ලැබී නැහැ.
ඒ හේතුවෙන් අද දිවයිනේ ප්‍රදේශ රැසකම ගෑස් අලෙවිසැල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ අතර දෛනිකව ක්‍රියාත්මක කරනු ලබන විදුලි කප්පාදුව මින් ඉදිරියට ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්තශාලා සඳහා සිදුනොකරන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළා.
ඒ, එම මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සමඟ අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
Source:Hirunews



















