නිරෝධායන රෙගුලාසි යටතේ බස්නාහිර පළාත තුළ ජංගම වෙළෙඳුන් 187 දෙනෙකු ඊයේ (06) දිනයේ පරීක්ෂාවට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
විවිධ ආයතන 852ක් ද පරීක්ෂාවට ලක් කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.දිවා සුරැකුම් මධ්‍යස්ථාන, උපකාරක පන්ති, ගෘහස්ථ ක්‍රීඩා ස්ථාන, ආපනශාලා එලෙස පරීක්ෂා කර තිබුණි.එම පරීක්ෂාවලින් නිරෝධායන උපදෙස් කඩකළ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. තවත් පුද්ගලයින් 14 දෙනෙකු සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇත.
නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව ඊයේ දිනයේදී පුද්ගලයින් 436 දෙනෙකු අ ත්අඩංගුවට ගෙන තිබේ.මෙම පිරිසෙන් 101ක්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටකොටුව සහ වේල්ලවීදිය ප්‍රදේශයේ සිදුකරන ලද මෙහෙයුමකදීය. ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස සිට මේ දක්වා එක් දිනකදී වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදීය.
මේ අතර නිරෝධායන රීති උල්ලංඝනය කරන පිරිස් සොයා කොළඹ ස්ථාන රැසක අද (07) දිනයේ මෙහෙයුම් ක්‍රියාත්මක විය.ඒ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ය.
කොටුව දුම්රියපොළ, කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය,මල්වත්ත පාර හා ගාලුමුවදොර ආශ්‍රිතව එම මෙහෙයුම් ක්‍රියාත්මක විය.මුහුණු ආවරණ නොමැතිව සහ මුහුණු ආවරණ නිසියාකාරව නොපැළඳ මාර්ගවල ගමන්ගත් පිරිස් වැඩි වශයෙන් එහිදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.
නිරෝධායන රීති කඩකරමින් යතුරුපැදිවල ගමන් ගත් පිරිස් සහ බස්රථවල ගමන් ගත් පිරිස් අත්අඩංගුව ගෙන තිබුණේ වීඩියෝ සාක්ෂි ද සහිතවය.පොලීසිය සඳහන් කළේ එම පිරිස් අතරින් දැඩි ලෙස නිරෝධායන රීති උල්ලංඝනය කර තිබෙන පිරිස් සඳහා නඩු පැවරීමට කටයුතු කරන බවය.සෙසු පිරිසට අවවාද කර මුදා හැරීමට කටයුතු කර තිබේ.
යාපනය පොලීසිය විසින් ද ඊයේ දිනයේ එලෙස සෞඛ්‍ය උපදෙස් කඩකළ පුද්ගලයින් සිය භාරයට ගෙන තිබුණි.
Adaderana.lk


















