ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත් කර දුන් 2018 යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර් 2000 බාධක දීවීමේ තරගයේ ලෝකඩ පදක්කම්ලාභී පාරමී වසන්ති දැරිවියගේ පියා ඉන්දියාවේ අන්දමන් දූපත්වල ඉන්දියන් වෙරළ ආරක්ෂක අංශයේ විසින් අත්අ’ඩංගුවට ගෙන මාස ගණනාවක් පුරා රඳවා සිටීම හේතුවෙන් ඔවුන් දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ පා සිටින බව ඇය පවසා සිටියාය.
පාරමී වසන්තිගේ පියා වන අන්තෝනි ටියුඩර් ධීවර රැකියාවේ නිරත වේ. ඔහු ඉකුත් ජනවාරි මස 06 වැනි දින ‘ඉනුක්ෂි -10’ බහුදින ධීවර යාත්‍රාවෙන් ත්‍රිකුණාමලය ධීවර වරායෙන් පිටත්ව ගොස් තිබේ. අනතුරුව ධීවර කටයුතුවල නිරතව සිටියදී එම මස 28 වැනි දින ඉන්දියන් වෙරළ ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් ඔවුන් අත්අ’ඩංගුවට ගෙන තිබේ.
මේ යාත්‍රාවේ ස්කීපර් ඇතුළු හය දෙනෙක් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති අතර, ඔවුන් සියලු දෙනාම අත්අ’ඩංගුවට ගෙන ඇත. එම ධීවර පිරිස හලාවත අඹකදවිල සහ තොඩුවාව ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
පාරමී වසන්ති මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිය. ඇයගේ සොහොයුරිය සබරගමු විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන අතර, වැඩිමහල් සොහොයුරා විවාහ වී වෙනම ජීවත්වේ. ඔහුගේ රැකියාව ද ධීවර කර්මාන්තයයි. මව නිවෙසේ රැඳී සිටී. දරුවන්ගේ දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු ඇතුළු පවුලේ අවශ්‍යතා සපුරාගැනීමේ එකම ආදායම් මාර්ගය පියාගේ රැකියාවයි. මාස දෙක හමාරකට ආසන්න කාලයක් ඇයගේ පියා ඉන්දියන් රජයේ ආරක්ෂක අංශ විසින් රඳවාගෙන සිටීම හේතුවෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටී.
පාරමී වසන්ති පසුගිය කාලයේ කෙන්යා ජාතික ක්‍රීඩා පුහුණුකරුවකු යටතේ පුහුණුවීම් කටයුතු සිදු කළ අතර, කොරෝනා වසංගතය හේතුවෙන් එම පුහුණුවීම් කටයුතු තාවකාලිකව නවතා තිබේ. එහෙත් ඇයට නිර්දේශිත පෝෂ්‍යදායී ආහාර හා කිරිපිටි වර්ග ගැනීමට ප්‍රමාණවත් ආර්ථික පහසුකම් නොමැතිවීම කනගාටුවට කරුණකි.
2016 වසරේ රුසියාවේ පැවති ළමා ආසියානු ක්‍රීඩා උලෙළේ මීටර් 2000 බාධක දිවීමේ තරගයෙන් රිදී පදක්කම ද, 2018 වර්ෂයේ ජපානයේ පැවති කනිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා තරගයෙන් මීටර් 3000 බාධක දිවීමේ තරගයෙන් රන් පදක්කම ද, තායිලන්තයේ පැවති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ තේරීම් තරගාවලියේදී රන් පදක්කම ද, 2018 වර්ෂයේ ආජන්ටිනාවේ පැවති තුන් වන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ ලෝකඩ පදක්කම ද හිමි කර ගත් පාරමි වසන්තිගේ අනාගත බලාපොරොත්තුව කුමන බාධක එල්ල වුවත් මෙරටට කෙසේ හෝ ඔලිම්පික් පදක්කමක් හිමි කර ගැනීමයි.
පාරමී වසන්ති රටට ගෞරවයක් අත් කර දෙමින් මෙරටට පැමිණෙන විට බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ දී ඇයව පිළිගැනීමට පැමිණි මැති ඇමැතිවරුන්, ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් ඇය සහ ඇයගේ පවුලේ අය පත්ව සිටින තත්ත්වය නොදන්නවා විය හැකිය. කෙසේ වෙතත් මෙවැනි වටිනා සම්පතක් රැක ගැනීම රටේ බලධාරීන්ගේ යුතුකමකි. ඇය පවසා සිටින්නේ තමන්ගේ පියා සහ සෙසු ධීවරයන් සම්බන්ධව සොයා බලා කඩිනමින් මෙරටට රැගෙන ඒමට කටයුතු කරන ලෙසයි.
පාරමි වසන්තිගේ මව වන රීටා මාග්‍රට් සිල්වා මහත්මිය
‘මගේ බාල දුව කුඩා කාලයේ සිටම ක්‍රීඩාවට දක්ෂයි. අපි ගොඩක් මහන්සි වෙලා මේ ඉගැන්නුවේ. දුවලගෙ තාත්තා ධීවර රැකියාවෙන් හම්බ කරන දෙයින් වියදම් කරලා හැකි පමණින් අප දරුවන් මේ තැනට ගෙනාවා. දුව ලංකාවට ගෞරවයක් දුන්නා. එයා අගය කළා. ඒ වගේ අප මේ ඉන්න ගේ නිවාස සංවර්ධන අධිකාරිය මැදිහත් වෙලා තරමක් දුරට හදලා දුන්නා. මම ඒ සියලු දෙනාටත්, රජයටත්, නිලධාරීටත් ස්තූති කරනවා. එවකට හිටපු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අපට එන්න කියලා ගෙයක් දුන්නා. අඟුලාන ප්‍රදේශයේ මහල් නිවාසයක් තමයි අපට දුන්නේ. අපට යතුර දීලා කිවුවා, ඒ ගෙට යන්න කියලා. ඒත් ඒ ගෙදරට යන්න තරම් තත්ත්වයක් තිබුණේ නෑ.
පස්සේ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියෙන් රුපියල් පනස් දහසක මුදලක් දෙන්න කියලත් අපට දන්වා තිබුණා. ඇත්තටම ඒ මුදල අපට දෙන්න පුළුවන්කමක් තිබුණේ නෑ. ගිය මාසයේ මාසික වාරික වශයෙන් රුපියල් 4250ක් ගෙවන්න කියලා අපට ලිඛිතව දන්වා තියෙනවා. ඒ මුදල අවුරුදු තිහක් ගෙවන්න ඕනෑ. මගේ මහත්තයා ධීවර රස්සාව කරලා තමයි අපව ජීවත් කරවන්නේ. ඒත් ජනවාරියේ මුහුදු රස්සාවට ගිහිල්ලා ඉන්දියාවෙන් අත්අඩංගුවට ගෙන තියෙනවා. අපට එයාට කතා කරන්නත් විදිහක් නෑ.
එක එක්කෙනා කියන පණිවිඩ තමයි අප දන්නේ. මම කියන්නේ කොහොම හරි එයාව බේරා දෙන්න කියලා, අප වැඳලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ, අප මේ ඉන්න තත්ත්වෙ බලලා මගේ මහත්තයා කොහොම හරි නිදහස් කර දෙන්න.
මිහිර විජේසේකර – මාරවිල සමූහ
lankatelegraph.info



















