පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් රැසකට මේ වන විට කොරෝනාවෛරසය ආසාදනය වී තිබේ.
ඔවුන්ට කල් තබා දෙවන මාත්‍රාව ද ලබා දුන්නේ නම් ඔවුන් ආසාදනය වීමේ සම්භාවිතාව වැඩි වීමට ඉඩක් තිබුණේ ද? යන්න පිළිබඳව සමාජයේ කතාබහක් පවතී.
කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමත් සමග එන්නත්කරණය යන මාතෘකාව පිළිබඳව කතාබහ ද ඉහළ ගොස් තිබේ.
මෙරටට පළමුවෙන් කොරෝනා මර්දන එන්නතක් ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස හිමි වූයේ ජනවාරි 28 වන දා ය. ඒ, Oxford-AstraZeneca එන්නතෙහි ඉන්දියානු නිෂ්පාදනය වන Covishield එන්නතයි.
පසුව මෙරට රජය Covishield එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මිල දී ගත් අතර තවත් එන්නත් මාත්‍රා 264,000ක් COVAX පහසුකම යටතේ මෙරටට ලැබිණි.
ඒ අනුව, එම එන්නතෙන් එන්නත් මාත්‍රා 1,264,000ක් මෙරට භාවිතය සඳහා හිමි වූ අතර අප්‍රේල් 15 වන දා වන විට ඉන් මාත්‍රා 925,242ක ප්‍රමාණයක් මෙරට ජනතාවට එන්නත් කර අවසන් විය.
මේ වන විට පැන නැගී ඇති ගැටලුව වන්නේ පළමු මාත්‍රාව ලබා දුන් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලබා දීම ය.
Covishield එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම අප්‍රේල් 28 වන දා ආරම්භ කළ අතර සෞඛ්‍ය අංශ සහ කොරෝනා මර්දන කටයුතු සඳහා රාජකාරියේ නිරත ආරක්ෂක අංශ සාමාජිකයන් එන්නත් කිරීම මේ වන විටත් සිදු වෙමින් පවතී.
ගැටලුව ඇත්තේ ඉන්දියාවේ උද්ගතව ඇති තත්ත්වය සමග මෙරටට එන්නත් ලබා ගත් Serum ආයතනයට ඉතිරි එන්නත් සැපයීමේ ශක්‍යතාවක් තිබේ ද යන්න ය.
එසේ එන්නත් සැපයීම සිදු කළ නොහැකි වුවහොත් පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් පුද්ගලයන්ට කළ යුත්තේ කුමක් ද යන ගැටලුවත්, එන්නත ලබා ගැනීමෙන් පසු වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ට එන්නත නැවත මුල සිට ආරම්භ කළ යුතු ද? යන ගැටලුත් සමාජයේ කතාබහට ලක්ව තිබේ.
එබැවින් ‘මව්බිම’ වෙබ් අඩවියේ අප රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතාගෙන් ඒ පිළිබඳ විමසීමක් කළෙමු.
මෙම ලිපිය එම සාකච්ඡාවේ තොරතුරු මත පදනම්ව සකසන ලද්දකි.
පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලබා දිය යුතු කාල සීමාව ඉක්මවා ගිහින් ද?
මුලදී සති 4කින් දෙවන මාත්‍රාව ලබා දිය යුතු බව නිර්දේශය වූ අතර පසුව විවිධ රටවල් සිදු කළ පරීක්ෂණවලින් සති 12න් එන්නත ලබා දීම වඩා සුදුසු යැයි නිර්දේශ විය.
ඒ අනුව, අප්‍රේල් 19 වන දා සිට මෙරට ජනතාවට දෙවන මාත්‍රාව ලබා දීමට සැලසුම් කර තිබිණි.
Covishield එන්නත හේතුවෙන් ලේ කැටි ගැසීමක් සිදු වේ දැයි යන කරුණ ලොව පුරා රටවල කතාබහට ලක් වූ අතර විදේශීය රටවල ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරිණි.
අප්‍රේල් 19 වන දා එන්නතෙහි දෙවන මාත්‍රාව ලබා දීමට සැලසුම් කර තිබුණ ද ඒ අතරතුර විදේශීය රටවල සිදු කළ පර්යේෂණවලට සමාන්තරව කොරෝනා මරණ සම්බන්ධයෙන් සමාලෝචනයක් මෙරටදී සිදු විය.
එහිදී ලේ කැටි ගැසීම් සහ කොරෝනා මරණ සඳහා එන්නතෙහි සෘජු බලපෑමක් නොමැති බව එන්නත් සම්බන්ධ විශේෂඥ කමිටුව විසින් තීරණය කරන ලදී.
පර්යේෂණවලින් පසුව දෙවන මාත්‍රාව සති 12-16 අතර ලබා දුන්න ද ගැටළුවක් නොවන බව විශේෂඥ කමිටුවේ නිර්දේශය විය.
ඒ අනුව, ජනවාරි අග සහ පෙබරවාරි මස මුල් දිනවල එන්නත ලබාගත් පුද්ගලයන්ට අප්‍රේල් 28 වන දා සිට දෙවන මාත්‍රාව ලබා දීම සෞඛ්‍ය අංශ ආරම්භ කළේය.
සාමාන්‍ය ජනතාවට එන්නතෙහි පළමු මාත්‍රාව ලබා දීම පෙබරවාරි 15 වන දා ආරම්භ වූ අතර ඒ අනුව, ඔවුන්ට දෙවන මාත්‍රාව ලබා දීම මැයි මස මැද සිට ආරම්භ කිරීමට නියමිත ය.
ඒ අනුව, මේ වන විට පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ගැනීමට අදාළ කාල සීමාව ඉක්මවා යාමක් සිදුව නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි.
Covishield එන්නත මෙරටට ලබා දීමට ඉන්දියාව අපොහොසත් වුවහොත් ගන්නා ක්‍රියාමාර්ග මොනවා ද?
Covishield යනු Oxford-AstraZeneca එන්නතෙහි ඉන්දියානු නිෂ්පාදනය වේ.
Oxford-AstraZeneca එන්නත වෙනත් වෙළෙඳ නාමයකින් (Covishied) නිපදවීම සඳහා ඉන්දියාවේ Serum ආයතනයට අවසර හිමි වූවා සේ ම වෙනත් රටවල ද Oxford-AstraZeneca එන්නත නිපදවයි.
යම් හෙයකින් ඉන්දියාව මෙරටට එන්නත ලබා දීමට අපොහොසත් යැයි දනුම් දුනහොත් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කර එම එන්නත නිපදවන වෙනත් කර්මාන්තශාලාවකින් එන්නත මිලදී ගැනීම හෝ පරිත්‍යාගයක් ලෙස ලබා ගැනීම සිදු කළ හැකිවේ.
සෞඛ්‍ය අමාත්‍යංශය ඒ සඳහා යම් වැඩපිළිවෙළක් මේ වන විටත් සිදු කරමින් පවතී.
ඊළඟ පියවර වන්නේ එන්නත මිශ්‍ර කර ලබා දීමට හැකි ද යන කරුණ පිළිබඳව සලකා බැලීමයි.
එනම්, AstraZeneca එන්නතෙහි පළමු මාත්‍රාව ලබා ගත් අයෙකුට Pfizer එන්නත, Sputnik V එන්නත වැනි එන්නතක් දෙවන මාත්‍රාව ලෙස ලබා දිය හැකි ද යන තත්ත්වයයි.
එයට ප්‍රමාණවත් විද්‍යාත්මක දත්ත තවමත් නොමැති නමුත් ඒ සම්බන්ධ විද්‍යාත්මක පර්යේෂණ මේ වන විටත් ලොව බොහෝ රටවල සිදු කෙරෙමින් පවතී.
එම පර්යේෂණවල අවසන් වාර්තා පැමිණීමෙන් පසු එන්නත් මිශ්‍ර කිරීම මගින් පුද්ගල ශරීර තුළ කොරෝනාවෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය ඉහළ යයි නම් සහ එන්නත් මිශ්‍ර කර ලබා දීම ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන්නේ නම් පමණක් පළමු මාත්‍රාව ගත් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ලබා දිය හැකිවේ.
එන්නතෙහි පළමු මාත්‍රාව ලබා ගැනීමෙන් පසුව කොරෝනාවෛරසය ආසාදනය වූ පුද්ගලයන්ට සිදු වන්නේ කුමක් ද?
Covishield එන්නතෙහි ඵලදායීතාව 70%කි. එනම්, එන්නත පුද්ගලයන් 100 දෙනෙකුට ලබා දුනහොත් 70 දෙනෙකුට පමණ රෝගය වැළඳීමේ හැකියාවක් නොමැති අතර 30 දෙනෙකුට පමණ රෝගය වැළඳීමේ හැකියාවක් ඇති බවයි.
යම් පුද්ගලයෙකුට එන්නතෙහි පළමු මාත්‍රාව ගැනීමෙන් පසු කොරෝනාවෛරසය ආසාදනය වූයේ නම් ඔහුට/ඇයට දෙවන මාත්‍රාව ලබා දිය යුත්තේ වෛරසය ආසාදනය වී මාසයක පමණ කාලයක් ගත වූ පසුව ය.
තව ද පළමු මාත්‍රාව ලබා නොගත් කොවිඩ් වැළඳුණ පුද්ගලයෙකුට වුව ද රෝගය වැළඳී මාසයක පමණ කාලයක් ගත වූ පසු එන්නත ලබා දිය හැකිය.
කොවිඩ් රෝගය වැළඳීම සහ එන්නත ලබා දීම අතර සම්බන්ධයක් නොමැති නමුත් යම් කාල පරතරයක් තබා එන්නත ලබා දීම සිදු කළ යුතු වේ.
එන්නතෙහි පළමු මාත්‍රාව ගත් පුද්ගලයන් හට දෙවන මාත්‍රාව නොලැබුණොත් හානියක් වේ ද?
දෙවන මාත්‍රාව නොලැබුණහොත් කොරෝනාවෛරසයට එරෙහි සම්පූර්ණ ප්‍රතිශක්තිය ශරීරය තුළ නිපදවීමක් සිදු නොවේ.
පළමු මාත්‍රාව හේතුවෙන් යම් තාක් දුරකට ප්‍රතිදේහ නිපදවීම සිදු වුව ද දෙවන මාත්‍රාව ලබා ගෙන සති 3ක් පමණ ගත වූ පසු සම්පූර්ණ ප්‍රතිශක්තිය ඇති වේ.
ඒ හැරුණු කොට දෙවන මාත්‍රාව ලබා නොගැනීම හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියට හානියක් සිදු නොවේ.
ප්‍රියාශා හෙට්ටිහේවා
මවුබිම


















