කාන්තාවන්ට සහ පුරුෂයින්ට හිමි වන සමාන අවස්ථා අතර පරතරය පිළිබඳ වාර්ෂික වාර්තාවකට අනුව 2006 වසරේ සිට 2021 වන විට ශ්‍රී ලංකාව ස්ථාන 113ක් පහත වැටී තිබේ.
2021 ලෝක ආර්ථික සංසදය (WEF) නිකුත් කළ වාර්තාවට අනුව, 2006 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ ස්ත්‍රී – පුරුෂ පරතරය අවම මට්ටමක තිබුණු අතර ලෝකයේ රටවල් 156ක් අතරින් 13 වෙනි ස්ථානයේ පසු විය.
නමුත් 2021 වාර්තාවේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 116 වෙනි ස්ථානයයි. වසර පහළොවක් ඇතුළත ස්ථාන 113ක් ශ්‍රී ලංකාව පහත බැස තිබේ. එමෙන්ම, වසරක් තුළ ස්ථාන 14ක් පහත වැටීම ද අවධානයට ලක් විය යුතු කරුණකි.
වාර්තාවේ සඳහන් වන පරිදි මෙයට ප්‍රධානතම හේතුව වන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ ආර්ථිකයට කාන්තාවන්ගේ ඇති අවම සහභාගිත්වයයි.
කෙසේනමුත්, පසුගිය අවුරුදුවල පහළ ස්ථානවල සිටි රුවන්ඩාව, බංග්ලාදේශය සහ පිලිපීනය වැනි රටවල් මෙම වසරේ දී ශ්‍රී ලංකාව පසු කර ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව අතින් ඉහළට ගොස් තිබේ.
පුරුෂයන් 72.4% ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට කාන්තාවන්ගේ දායකත්වය 32.5% ක් පමණි. එසේම, කාන්තාවන්ගේ විරැකියා අනුපාතය 36.3% ක් වන අතර, පුරුෂයන් අතර එය 21.1% ක් පමණි.
එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය 2020 දී නිකුත් කළ වාර්තාවකට අනුව, දැරිය හැකි මුදලකට ගුණාත්මක දිවාසුරැකුම් මධ්‍යස්ථාන සහ ළමාරක්ෂක සේවා නොමැතිකම, නිවසේ රාජකාරි බෙදා ගැනීමට සහාය නොලැබීම සහ සේවිකාවන්ට අවශ්‍ය සහාය නොදක්වන සමහර සේවා ස්ථාන සංස්කෘතීන් වැනි බොහෝ සාධක නිසා රට තුළ ශ්‍රම බලකායට කාන්තා සහභාගීත්වය අවම වී තිබේ.
බොහෝ කාන්තාවන් ස්ථීර ආදායමක් නොලැබෙන රැකියාවල නිරත වන බැවින්, කොවිඩ්-19 වැනි අර්බුද ශ්‍රී ලංකාවේ පවුල් 1/4 වැඩි ප්‍රමාණයකට අයත් කාන්තාවන්ට දැඩි ලෙස බලපා ඇතැයි වාර්තාවේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා සම්බන්ධ සමීක්ෂණ පවත්වන මධ්‍යස්ථානය (Centre for Women’s Research/ CENWOR) මඟින් සිදුකළ ‘ස්ත්‍රීපුරුෂ සමානාත්මතාවයෙන් යුත් කෘෂිකර්ම ප්‍රතිපත්ති’ (Gender Equitable Agricultural Policies) සහ යුරෝපා සංගමය මගින් සිදුකළ 2018 කෘෂිකාර්මික ප්‍රතිපාදනවල ස්ත්‍රීපුරුෂ සමාජභාවීය සාධකය (Gender Responsiveness of 2018 Agriculture Sector Budget) යන අධ්‍යයන දෙකෙන් හෙළි වී ඇති කරුණු අනුව කෘෂිකර්මාන්තයට අදාළ සෑම අංශයකම සේවයේ නියුතු කාන්තාවෝ, පුරුෂ පාර්ශ්වය හා සමානව කැපවී කටයුතු කරන බව හෙළි වී තිබේ.
එම අධ්‍යයනවලට අනුව ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 7.7%ක කොටසක් හිමි කෘෂි ක්ෂේත්රය තුළ සමස්ත ජනගහනයෙන් 27%ක් සේවයේ නියුතුව සිටිති. ඉන් 38%ක්ම කාන්තාවෝ වෙති.
තව ද ශ්‍රී ලංකාවේ මිලියන 2.1ක් වන කෘෂිකාර්මික යැපුම් මාර්ගයක් ඇති නිවෙස් අතරින් 19%ක්ම කාන්තා ගෘහ මූලිකත්වයකින් යුතු පවුල් වීම විශේෂත්වයකි. මූලිකව කෘෂිකර්මාන්තයේ යෙදෙන්නන් අතුරින් 75%ක් පුරුෂයින් ද 25% ස්ත්‍රීන් ද වන නමුත් ගෘහ මූලිකයාට අමතරව පවුලේ ආර්ථිකයට දායක වන සේවා නියුක්තිකයින් අතුරින් 78.9%ක්ම කාන්තාවන් වීම (පිරිමි 21.1%) තවත් කැපී පෙනෙන කරුණකි.
කෙසේනමුත්, කෘෂිකාර්මික කටයුතුවල නියුතු කාන්තාවන්ගෙන් බහුතරයක් යැපුම් කෘෂි කටයුතුවල නිරත වේ. එය කුඩා ආර්ථික ලාභයක් සහිත සේවා නියුක්තියක් ලෙස සැලකෙන අතර ඇස්තමේන්තුගත කාන්තා පිරිමි ආදායම් ඉපැයීමේ අනුපාතය 0.31%කි.
2020 වසර අග භාගයේ දී කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ රාජ්‍ය අමාත්‍යාංශයක් බවට පත්කිරීමට රජය පියවර ගත්තේය. කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වාය.
1931 දී 4%ක් වූ කාන්තා නියෝජනය තවමත් පාර්ලිමේන්තුව තුල 6%කට වඩා වැඩිකර ගැනීමට නොහැකි වී තිබේ.
2010 වසරේදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.8% දක්වා වැඩි වුව ද වර්තමානයේ දී එය 5% දක්වා පහත වැටී තිබේ.
ලොව පළමු අගමැතිනිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක තේරී පත්වූයේ මීට අවුරුදු 61කට පෙර එනම්, 1960දීය.
එතැන් සිට අවුරුදු 34 ක් ගෙවී ගිය තැන ඇයගේ දියණිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 1994 දී අගමැතිනිය ලෙස පත්වීමෙන් නොනැවතී රටේ ප්‍රථම විධායක ජනාධිපතිනිය ලෙස තේරී පත් වූවාය. එතැන් සිට ඇය 2005 නොවැම්බර් මස දක්වා රට පාලනය කළාය. රටේ මුල්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට හැම වරකම පාර්ලිමේන්තුවේ කාන්තාවන් කීපදෙනෙක් හෝ සිටියහ.
බලයට පත් සෑම රජයක්ම දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීමට විවිධ පොරොන්දු මෙන්ම උත්සාහයන් දැරුවද අද වන තෙක් ඒ කිසිවක් නිසි ලෙස ක්‍රියාත්මක වී නොමැත.
යුරෝපීය රටවල් බොහොමයක පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 30% වඩා වැඩි බව සංඛ්‍යාලේඛන අනුව පෙනී යයි.
තවමත් බොහෝ රටවල නායකත්වයට පුරුෂයන් පත්වී සිටිය ද 2021 වර්ෂය වන විට රටවල් 22ක කාන්තා නායකත්වයක් දැකිය හැකි විය.
BBC Sinhala

















