රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් මැයි දින සැමරුම් උත්සවයක් සංවිධානය කළ වතු වෘත්තිය සමිති නායකයින් කිහිප දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර තිබේ.
අද (මැයි 01) දින ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන තලවකැලේ, ලිඳුල, මට්ටකැලේ වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට මැයි දින සැමරුම් උත්සවයක් පැවැත්වීමට සංවිධානය කළ වතු තලවර්ලා (වත්තේ වෘත්තිය සමිති නායකයින්) 07 දෙනෙකු, මෙලෙස දින 14 ස්වයං නිරෝධානයට යොමු කර තිබේ.
එහි දී රැස්ව සිටි පිරිස විසිරුවා හැරීමට පොලීසිය, ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කළ බව ලිඳුල මහජන සෞඛ්‍ය පරික්ෂක එස්. පුෂ්පකාන්තන් මහතා පවසයි.
ඒ මහතා පවසන්නේ, වෘත්තිය සමිති කිහිපයක වතු නායකයින් වතු කම්කරුවන් 70 දෙනෙකු පමණ සහභාගි කර ගනිමින් එම වතු යායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට එම පක්ෂවල ධජය ඔසවා සැමරුම් උත්සවයක් පැවැත්වීමට කටයුතු කර තිබු බවය.
සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා මැයි දින උත්සවයක් පවත්වන බවට තම කාර්යාලය වෙත ලද තොරතුරක් මත ලිඳුල පොලිසියේ නිලධාරින් සමඟ එම වතු යායට ගොස් පිරිස විසුරුවා හැර මැයි දින සැමරුම් උත්සවය සංවිධානය කළ වෘත්තිය සමිති නායකයින් 7 දෙනෙකු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත කැඳවා දින 14ක් ස්වයං නිරෝධානයට යොමු කළ බව ද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසීය.
මේ අතර මෙවැනි ම මැයි දින සැමරුම් උත්සව කිහිපයක් වතු කිහිපයක ම සිදු කර ඇති අයුරු දැක්වෙන දර්ශන සමාජ මාධ්‍යවල එම සැමරුම් උත්සව සංවිධානය කළ සංවිධායකයින් පළ කර තිබෙන දැක ගත හැකි වූ බව අප වාර්තාකරු පැවසීය.
රංජිත් රාජපක්ෂ – හැටන්
මව්බිම

















